ඊඩිපස්

ස්ෆින්ක්ස්ගේ තේරවිල්ල පැහැදිළි කරන ඊඩිපස්, ජින් ඕගස්ටේ ඩොමිනික් ඉන්ග්‍රේස් විසිනි, 1805 ප.

ඊඩිපස් (එජ :/ˈidɪpəs/ හෝ /ˈɛdɪpəs/ හෝ එරා :/ˈdɪpəs/; පුරාතන ග්‍රීක: Οἰδίπους Oidípous අර්ථය "ඉදිමුණු පාද") යනු තීබ්සයේ පුරාණෝක්තිගත ග්‍රීක රජ කෙනෙකි. ග්‍රීක පුරා‍ණෝක්තිවේදයේ එන ශෝකාන්ත වීරයකු වන ඊඩිපස් නොදැනුවත්ව එක්තරා අනාවැකියක් සම්පූර්ණ කරයි. එමගින් කියැවුණේ ඔහු සිය පියාව ඝාතනය කොට මව සමග විවාහ වීමෙන් පසු සිය නගරයට සහ පවුලට නොයෙකුත් උපද්‍රව ගෙන එන බවයි.

ඊඩිපස්ගේ කථාපුවත සොෆොක්ලීස්ගේ ඛේදාන්ත නාට්‍ය වන ඊඩිපස් නම් රජ සහ අනතුරුව කොලෝනස්හි ඊඩිපස් හා ඇන්ටිගනි සඳහා තේමා විය. මෙම නාට්‍ය සියල්ල එක්ව ගත් විට සොෆොක්ලීස්ගේ ත්‍රිත්ව තීබානු නාට්‍ය සෑදිණි. ඊඩිපස් තුළින් ග්‍රීක පුරාණෝක්ති සහ නාට්‍යවල වැදගත් ගුණාංග දෙකක් නිරූපණය කරයි: මනුෂ්‍යත්වයේ ඇති දෝෂ සහගත ස්වභාවය සහ රළු විශ්වයේ තනි පුද්ගලයකුගේ ඉරණම එම ගුණාංග වේ.

මෙහි වඩාත්ම ප්‍රකට පුරාණෝක්තියේ ප්‍රභේදය සැලකූ විට එය මෙසේ ය: ඊඩිපස් උපත ලැබූයේ ලේයස් රජුට සහ ජොකැස්ටා රැජිනට දාව ය. අනාවැකිය ඉටු වීම වැළැක්වීමට සිතා ලේයස් ඊඩිපස්ව මියයනු පිණිස කඳුකර පෙදෙසක දමා ගියේ ය. කෙසේනමුත්, ‍එ‍ඬේරන් විසින් ඊඩිපස්ව සොයාගත් අතර, පොලිබස් රජු සහ මෙරෝප් රැජින ඔහුව සිය දරුවකු ලෙසම හදාවඩා ගත්හ. ඩෙල්ෆියේ දිවැස් දෙවොලේ දී ඔහුට තමන් සිය පියාව ඝාතනය කොට මෑණියන් සමග විවාහ වන බවට වූ අනාවැකිය දැනගන්නට ලැබිණි. සිය සැබෑ දෙමාපියන් පිළිබඳ නොදත් ඔහු මෙමගින් තමන් පොලිබස් මරා මෙරෝප් සමග විවාහ වීම පැවසේ යැයි සිතා තීබ්සය වෙත පිටව ගියේ ය. ගමන අතරතුර දී ඔහුට වියපත් මිනිසකු මුණගැසෙන අතර එහි දී ඇතිවන රණ්ඩුවක දී ඊඩිපස් ඔහුව මරාදැමී ය. තීබ්ස් වෙත යාමෙන් පසු ඔහුට දැනගන්නට ලැබෙන්නේ මෑතක දී නගරයේ රජු (ලේයස්) මරාදමා ඇති බවත්, නගරය ස්ෆින්ක්ස් යටතට පත්ව ඇති බවත් ය. මෙම රාක්ෂයාගේ ප්‍රහේලිකාවට නිවැරදිව පිළිතුරු දෙව ඊඩිපස් ඔහුව පරදා මියගිය රජුගේ කිරුළ හිමි කරගත්තේ ය. අනතුරුව ඔහු රජුගේ වැන්දඹුව වූ සිය මෑණියන් වන ඩොකැස්ටාව (නොදැනුවත්ව) විවාහ කරගත්තේ ය.

වසර ගණනාවකට පසු, තීබ්සයේ වසංගය අවසන් කිරීමට සිතා ඊඩිපස් ලේයස්ව මරාදැමූ තැනැත්තා පිළිබඳ සොයාබැලී ය. එහි දී එය සිදුකොට ඇත්තේ තමන් බැව් ඔහු වටහා ගත්තේ ය. තමන් විවාහ කොටගෙන ඇත්තේ සිය සැමියාගේ ඝාතකයා හෙවත් තමන්ගේම පුත්‍රයා බව වටහා ගන්නා ජොකැස්ටා ගෙල වළලාගෙන සිය දිවි හානි කරගන්නී ය. අනතුරුව ඇගේ වස්ත්‍රයේ වූ කූරු දෙකක් ගලවා ගන්නා ඊඩිපස් ඉන් සිය දෑස් අන්ධ කොට ගත්තේ ය.

ඊඩිපස්ගේ පුරාවෘත්තය නොයෙකුත් වෙනස්කම් සහිතව දක්නට ලැබේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ද මෙම නාමය ඊඩිපස් සංකීර්ණය හැඳින්වීමට භාවිතා කොට තිබේ.

මේවාත් බලන්න

  • ඇන්ටිගනි
  • එපිගනි
  • ප්‍රවේණි ආකර්ෂණය
  • මයිරා (පියකු සහ දියණියකගේ ව්‍යාභිචාරී ප්‍රේමය සඳහන් ග්‍රීක පුරාණෝක්තිය)
  • කොලොනස්හි ඊඩිපස්
  • ඊඩිපස් සංකීර්ණය
  • ඊඩිපස් නම් රජ
  • ඊඩිපස් (යුරිපිඩිස්)

සටහන්

ආශ්‍රේයයන්

  • Brown, A.L. "The End of the Seven against Thebes" The Classical Quarterly 26.2 (1976) 206-19.
  • Carloni, Glauco and Nobili, Daniela. La Mamma Cattiva: fenomenologia, antropologia e clinica del figlicidio (Rimini, 2004).
  • Dallas, Ian, Oedipus and Dionysus, Freiburg Press, Granada 1991. ISBN 1-874216-02-9.
  • Graves, Robert, The Greek Myths
  • Lowell, Edmunds, Oedipus. (Gods and Heroes of the Ancient World), London/New York: Routledge, 2006. ISBN 978-0-415-32935-4.
  • Smith, William; Dictionary of Greek and Roman Biography and Mythology, London (1873). "Oe'dipus"
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ලේයස්
තීබ්ස්හි පුරාණෝක්තිගත රජ අනුප්‍රාප්තික
ක්‍රියොන්

සැකිල්ල:Theban Kings සැකිල්ල:Oedipus